ලොව මුල් කාලයේ ජාතිකත්ව හැඟීමක් මතුවී නොආවද මධ්‍යකාලීන යුගයට පිවිසීමත් සමඟ ප්‍රථමයෙන්ම යුරෝපීය රටවල ජාතිකත්ව හැඟීම් ඉස්මතු විය. ඒ අනුව සෑම ජන වර්ගගයකටම ආවේණික වූ ජන ගායනා බිහිවූ අතර නොයෙක් වෘත්තීන්හි යෙදෙන විවිධ ජන කොටස් වලින් සමන්විත ජාතියක, සංස්කෘතිය පිළිබිඹු කරන ගීතයක් තම ජාතික ගීය ලෙස පිළිගනු ලැබුණි. මේ අනුව ලොව පැරණිතම ජාතික ගීය ලෙස නෙදර්ලන්ත ජාතික ගීය ක්‍රි.ව.1626 දී භාවිතාවට පත්විය. බ්‍රිතාන්‍ය ජාතික ගීය ක්‍රි.ව.1745 දී ආරම්භ වුවද එහි නෙදර්ලන්ත ජාතික ගීයට වඩා වැඩි ඵෙතිහාසික අගයක් පිළිඹිබු වන බව පිළිගනී.
ඒ අනුව ජාතික ගීය සෑම රටකම රටේ ජනතාවගේ ප්‍රෞඪත්වය හා අනන්‍යතාවය තහවුරු කරන සංකේතයක් බවට නිතැතින්ම පත්වී ඇත. ශ්‍රී ලංකාවට ජාතික ගීයක අවශ්‍යතාවය මතුවූයේ 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට නතු වීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයන්ගේ ආභාෂයට අනුව එකල ශ්‍රී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි. නමුත් අධිරාජ්‍යවාදී ග්රහණයෙන් මිදුණු පසු ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සුරකින ශ්‍රී ලංකාවටම ආවේණික වූ ජාතික ගීයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැඟුණි. මෙය මතුවූයේ විසිවන සියවසේ හතරවන දශකයේ දී ය. මේනිසා 1948 ජනවාරි 31 වැනි දින ජාතික ගීයක් තෝරා ගැනීමේ තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා එකල අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ඇම්. ජේ. පෙරේරා යන මහත්වරුද ගීත ඉදිරිපත් කළහ. ආනන්ද සමරකෝන් මහතා වෙනුවෙන් එම මහතාගේ මැතිණිය කැරලයින් ද සිල්වා මහත්මිය ද, “නමෝ නමෝ මාතා” ගීතය ඉදිරිපත් කළාය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඉදිරිපත් කර තිබුණේ “සිරිලක මාතා නමදිමු සැමදා” ගීතයයි. අවසානයේදී එම විනිසුරු මඬුල්ලේම සිටි පී. බී. ඉංගසින්හ නොතාරිස් රාළහාමි රචනා කළ එහිම විනිසුරුවරයෙකුව ක්‍රියා කළ ලයනල් එදිරිසිංහ මහතා සංගීතවත් කළ “ශ්‍රී ලංකා මාතා පාලා රස මහිමා ජය ජය” ගීතය තරඟයෙන් ප්‍රමුඛස්ථානය ගත්තේ විවේචන රැසකට භාජනය වෙමිනි.
1948 පෙබරවාරි 4 වැනි දින පැවති පළමු නිදහස් උත්සවයේ දී ගායනා කරනු ලැබුයේ මෙම ගීතයයි. නමුත් දෙවන නිදහස් දිනයේදී ගායනා කරනු ලැබුයේ “නමෝ නමෝ මාතා” යන ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ගීතයයි.
1950 අප්‍රේල් මස මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ඇමති මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන්. 1951 නොවැම්බර 22 දිනදී නිල වශයෙන් එය ජාතික ගීය වශයෙන් පිළිගැනුනේ ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මුලසුන හෙබවූ කමිටුවක නිර්දේශ මතය. “නමෝ නමෝ මාතා” ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්නට විය.
- එහි “න” අක්ෂරය අපාය අක්ෂරයක් වීම.
- ආරම්භක ගණය අනිටු ගණයක් වීම.
- භක්ති රසය ජනනය වීම.
එවැනි විවේචන කිහිපයකි. පසු කාලීනව 1962 වසර මුලදී එය දැනට පවතින ආකාරයට වෙනස් කෙරිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය පිළිබඳ සටහන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 7 වන වගන්තියෙහි දැක්වෙන්නේ, “ශ්‍රී ලංකා ජනරජයෙහි ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා” වන අතර, එහි පද හා සංගීතය තුන්වන උපලේඛනයෙහි දක්වා ඇති පරිදි වෙයි” යනුවෙනි. එම තුන්වන උපලේඛනයෙහි සංගීත විස්තාරයට අනුබද්ධව ඉංග්‍රීසි අකුරෙන් ජාතික ගීයෙහි සිංහල පද ලියා දක්වා ඇති අතර ජාතික ගීයේ කුමන කොටස් තුමන අවස්ථා වලදී භාවිතා කල යුතුද යන බව හා එය වාදනය කල යුත්තේ කුමන ආකාරයටද යන්න දක්වා ඇත.
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී……. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී …… ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති
අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී…….. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකොන් මහතා
අපේ ජාතික ගීය ලියුවේ කවුද? එහි තනුව කාගේ ද? වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද? කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක් ද? මේ ප්‍රශ්න සියල්ලට ම උත්තරය එක ම නමකි. ඒ ආනන්ද සමරකෝන් මහතාය.
මොහු එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලදී. කොට්ටේ ක්‍රිස්තියන් විද්‍යාලයෙන් (වර්තමානයේ හදුන්වන කොට්ටේ ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඔහු ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබාගනී. පණ්ඩිත් ඩී. සී. පී. ගම්ලත්ගේ ඔහුගේ සිංහල ගුරුවරයා විය. පසුව ඔහු ඉන්දියාවේ ශාන්තිනිකේතන් ප්‍රදේශයට ගොස් කලාව හා සංගීතය හදාරන ලදී. මාස හයකට පසු ඉගෙනීම අතරමග නැවතූ ඔහු නැවත ලංකාවට පැමිණ ඔහුගේ නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදුදහම වැලඳ ගන්නා ඔහු 1938 සිට 1942 දක්වා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සේවය කරයි. ඔහු ඉන්දියාවේ සිටින කාලය තුල බොහෝ සෙයින් රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ ආභාශය ලබාගනී. මෙවැනි ශ්‍රේෂ්ඨ ඉන්දීය සංගීතඥයෙකු අනුගමනය කිරීම ඔහුගේ අපේක්ෂාව වූ ශ්‍රි ලාංකික මිනිසුන් සදහා උචිත වන සංගීත සම්ප්රදායක් නිර්මාණය කිරීම සඳහා මහඟු පිටුවහලක් වූ බව කිවයුතුය.
1937 දී, උතුරු ඉන්දියාවේ රාගධාරී සංගීතය මෙරට ජනප්‍රියතම සිංහල සිංදුවල අඩංගුවී තිබිනි. මෙම සිංදුවල පදමාලා තේරුම් රහිත සහ කිසිදු සාහිත්‍ය රසයකින් යුක්ත වුයේ නැත. 1940දී සමරකෝන් මහතා ශ්‍රී ලංකාවට ආවේනිකවු සංගීතමය ආකෘතියක් “එන්ඩද මැණිකේ” ගීතය එළිදැක්වීමත් සමග ඉදිරිපත් කරන ලදී. 1940දී ඔහු “නමෝ නමෝ මාතා” ගීතය රචනා කරන ලදී. පසුව මෙම ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තෝරාගන්නා ලදී ආදරය තේමාකරගත් ගීතයක් වන “එන්ඩද මැණිකේ” ගමක තරුණ ගැහැණු ලමයෙකු හා පිරිමි ලමයෙකු අතර ඇතිවන දෙබසක් ලෙසින් දිගහැරේ. එය සාර්ථක වීමත් සමගම සාර්ථක නිර්මාණ රාශියක් එළිදක්වන ලදී. 1940 කාලය ඔහුගේ ස්වර්ණමය කාලපරිච්ඡේදයි. ඔහුගේ විශිෂ්ඨ නිර්මණ අතුරින්:
- පොඩිමල් එතනෝ
- විලේ මලක් පිපිලා
- පොසොන් පොහොදා
- අහසේ මැදුර
- සුනිලා ගුවනේ
- පුන්චි සුදා
- නිල්වලා ගගේ
- සුමනෝ
- පුදමු කුසුම්
- සිරි සරුසාර කෙතේ විශේෂ තැනක් ගනී…………………….
1945 දි සමරකෝන් මහතාගේ එකම පුතු වයස 5 දි මිය ගිය අතර ශෝකයට පත් සමරකෝන් මහතා ඉන්දියාවට ගියේය. එහිදි ඔහු චිත්‍ර ඇදිමේ කටයුතු දිගටම කරගෙන ගිය අතර චිත්‍ර ප්‍රදර්ශන එකොළහක් පවත්වන ලදි. එහිදි ඔහුගේ චිත්‍ර මහත් ඉහල පිළිගැනිමකට ලක් විය. පසුව නැවත ලංකාවට පැමිණි සමරකෝන් මහතා 1951 දි නැවත සංගිතය කෙරෙහි යොමු විය.
එදා අපේ රටේ ජාතික ගීය ලෙස තෝරා ගැනුනේ ඔහු ගාල්ලේ මහින්ද විදුහලේ දරුවන්ට පුහුණු කරන්නට ලියූ ගීයක්. ඒ ගීය තෝරා ගැනීම වෙනුවෙන් ඔහුට රජයෙන් ලැබුණු ප්රදානය ගැන ද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. එය ඔහු විසින් මුද්‍රණය කරන්නට දී තිබූ පොතකට මේ ගීය ඇතුළත් කිරීම නිසා එහි මුද්‍රණකරු හා ප්‍රකාශක ඔහු සමඟ නඩු කියා උසාවිය මගින් ඒ මුදලෙන් අඩක් උදුරා ගන්නා ලදි. මෙයට අමතරව ඔහුගේ ගීයේ ආරම්භක වදන්, දෝෂ සහිත ගණවලින් යුක්ත බැවින් රටට අගුණ යයි ගෙනා තර්කයක් නිසා ඔහුට හොරෙන් එවකට පැවති රජය විසින් එය “ශ්්රීලංකා මාතා” යනුවෙන් වෙනස් කරනු ලැබීය. මෙය ඔහුගේ බලවත් සිත් තැවුලට හේතු විය.
1962 අප්‍රේල් 15 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මෙතුමාගේ මරණය සිදුවිය. ඔහු මරණයට පත්වුවත් එතුමගේ උරුමයන් වන ඔහුගේ ගීත සහ ඔහු නිර්මාණය කළ සංගීත ශෛලිය අමරණීයවේ.
(තොරතුරු මූලාශ්‍ර : Wikipedia හා පොත පත ඇසුරින්)
© Mahina Rajapksha College Scout Troop- All Rights Reserved ®